ජීවිතය විඳින්න

“ජීවිතය අපට ලැබී ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවන බව” මුලින්ම පසක් කළ යුතුය. ජීවත ගංඟාව තරණය කරන විට විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීමට අපට සිදුවේ. නමුත් ඒවාට කලකිරීම , පසුතැවීම වෙනුවට කළයුත්තේ ඒවාට අභියෝගාත්මකව මුහුණ දීමය.

නමුත් , ගලායන ජිවිතයට ඔහේ ගලායාමට ඉඩදීම මෝඩකමකි. ජීවිත ගංගාවේ සැඩපහරට අසුවුවත් හබල් ගා යා යුතු දිසාව තීරණය කළයුත්තේ අපමය. ජීවිතය සුන්දර අසුන්දර මතකයන්ගෙන් හෙබි වීම අතිශය සුන්දරය. එනිසා ඕනෑම අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වීම යෝග්‍ය වන්නේය.

ජීවිත ගංඟාවේ දී අපට විවිධ දේවල් හමුවේ නැඟී සිටින්නට සිදුවනවා මෙන්ම ඇතැම් අවස්ථාවල පසුබැසීමට සිදුවේ. නමුත් , දිනෙන් දින එවැනි සිදුවීම්වලින් අප ජීවිතය ශක්තිමත් කරගැනීම , ඔපමට්ටම් කරගැනීම අනිවාර්යය වන්නේය.

ඇතැම් අවස්ථාවල අපේ ජීවිතවලට අප කැමතිම පුද්ගලයන් මෙන්ම අකමැති පුද්ගලයන් එකතුවන අවස්ථා ඕනෑතරම් ය. එසේම අකමැති පුද්ගලයන් සමග සමීප සබඳතා පැවැත්වීමටත් , කැමති පුද්ගලයන්ගෙන් ඈත්වීමටත් සිදුවන අවස්ථා ද ඇත. නමුත් , ඒවාට කලකිරීම් ඇතිකර නොගත යුතුය. කැමති – අකැමති , හොඳ – නරක ලෙසින් ඕනෑම මිනිස් කොට්ඨාසයක් ඇසුරු කිරීමට අපට හැකියාවක් තිබිය යුතුය.

ඔබේ ජීවිතය වෙනස් කරගත යුත්තේ ඔබ විසින්මය. එයට අති විශාල කැපකිරීම් කළයුතු වන්නේ නැත.

ජීවිතය සුන්දරව , රමණීය ලෙසින් ගතකිරීමට කම්මැලිකම පිටු දැකිය යුතුය. ඒසේ වුවහොත් ලෝකය දිනීමට එතරම් අපහසු නොවේ. එසේම පිරිසිදුකම , පිළිවෙළ ජීවිතයේ ඉහළින්ම තිබිය යුතුබව මතක තබාගන්න. එවිට ඔබ කරන සෑම කටයුත්තක්ම සාර්ථකව කරගත හැකිය.

හැමවිටම අවංකව කටයුතු කරන්න. එයින් ඔබට යහපතක් මිස අයහපතක් සිදුනොවන බව සිහිපත් කරගන්න. අවංකකම මිනිස් පෞරුෂයට මනා ආභරණයකි.

ඔබ ජිවත්වන වටපිටාව අලංකාරව තබාගන්න. එසේ වූ විට ජීවත්වීමේ ආශාව ද වර්ධනය වේ.

නිවසේ සුරතල් සතෙකු නොමැති නම් කුමන හෝ සුරතල් සතෙකු ඇති කරන්න. නමුත් , ඔවුන්ගේ නිදහස කූඩුවකට සීමා නොකරන්න. ඔවුන්ට නිදහසේ ඉන්නට ඉඩහරින්න. ආදරයෙන් ඇතිදැඩි කරන්න. ඔවුන් සමග කතා කරන්න. ඔවුන් දෙස හොඳින් බලා සතුටුවන්න. එවිට සතුන් කෙරෙහි ඇති මානුෂීය ගුණාංග වර්ධනය වේ. ඔබේ ඒකාකාරී දිවියට වෙනසක් එක්කරමින් ඔබට සතුටක් ද ඇතිවේ.

පවුලේ අය , යාළු හිතමිත්‍රාදීන් සමග සමීපව ඇසුරු කරන්න. විනෝද චාරික සූදානම් කර ඔවුන් සමග යන්න. එවිට ඔබේ ජීවිතයට නවමු අත්දැකීම් රැසක් එකතු කරගැනීමට හැකිය. අන්‍යොන්‍ය සබඳතා ද වැඩිදියුණු වේ.

එමෙන්ම ඔබ කරන කුමන හෝ රැකියාවක් ඇත්නම් එයට අවංක වී තම සේවය නොපිරිහෙලා ඉටුකරන්න. එවිට ආයතන ප්‍රධානියාගේ විශ්වාසය දිනාගැනීමටත් , ආයතනය තුළ සතුටින් සේවය කිරීමටත් ඔබට හැකිවනු ඇත.

තවද , ඔබට ජීවිතයේ ඇති වටිනාම දේ ඔබේ පවුල බව ඔබ තරයේ මතක තබාගන්න. ඔබ කුමන කාර්යයේ නිරත වුනත් ඔබේ පවුලට ඔබේ ජීවිතයේ මුල්තැන ලබාදෙන්න .ඔබ අවිවාහක නම් තම දෙමාපියන් , සහෝදර සහෝදරියන් පිළිබඳ සොයාබලා තම යුතුකම් ඉටුකරන්න. ඔබ විවාහක නම් තම කුටුම්භය පිළිබඳ  , තමාගේ මෙන්ම තම ස්වාමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන්ට නොපිරිහෙලා තම යුතුකම් – වගකීම් ඉටුකරන්න. ඔවුන් සෑමදෙනා පිළිබඳ සොයාබලා කටයුතු කිරීම මගින් මෙන්ම සබඳතා වර්ධනය කරගැනීම තුළින් බැඳීම් තව තවත් ශක්තිමත් වන බව අමතක නොකරන්න.

මෙලෙසින් ඔබේ ජීවිතය අත්විඳීමට හැකිනම් ඔබට ඉතා සරල , සැහැල්ලු පුද්ගලයෙක් ලෙසින් ජීවිතයට නොබියව මුහුණදීමට හැකිවේ.

අප සියලුදෙනා 100%ක් අංග සම්පූර්ණ මිනිසුන් නොවේ. නමුත් තම ජීවිතය අපූර්වාකාරව හැඩගස්වා ගැනීමට මට , ඔබට මෙන්ම අප සියලු දෙනාටම හැකිවන්නේ උත්සාහ කර බැලුවොත් පමණි.

එවිට ජීවිතය විඳීමට නිරතුරුවම හැකිවන බව නොඅනුමානය.

Dk.

Please follow and like us:

Related posts

Leave a Reply